Saturday, November 10, 2012

බස් එකේදී . . .

මං මේ කියන්න යන්නෙ බස් ගැනනම් නෙවෙයි ඔං . මං ඔය වාහන ගැන මොකුත් දන්නේ නෑ . මේ කියන්න යන්නේ බස් එකට නගින කට්ටිය ගැන . ඒත් හරියට කියවුනේ නෑ වගේ . මං  කිව්වම හිතාගන්නකෝ කා ගැනද කියලා  . .

   බස් එක ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණේ . . දැන් ඉතිං එක්කෙනා දෙන්නා නගිනවා . . ඒ ස්ටෑන්ඩ් එකට බස් එක එන්නත් කලින් මගදීම මං බස් එකේ. . ඉතිං කාටත් ඉස්සෙල්ල බස් එකට එන මට කරන්න දේකුත් නෑ නේ . . මේකයි කතාව . . ලොකු , ලංකාවේ ප්‍රසිද්ද ටවුමක් . . . සෙනගත් හෝ ...  ගාලා . . .

   ඒ අතරේ බස් එකට මුලින්ම ආවා කෙනෙක් . . . කූඩයක් අතේ තිබ්බා . . . ඇවිත් කියනවා . ,"  චුයින්ගම් එකක් , පෙපරමින්ට් එකක් එහෙම , කූල් වතුර එකක් . . "  බස් එකේ ඉස්සරහ දොරින් නැග්ග කෙනා මෙහෙම කියල පිටිපස්ස දොරෙන් බැහැල ගියා . . .

   තව කෙනෙක් ආවා . . ඒ අතේ පොත් වගයක් . . ඇහුන විදිහට රූප පාට කරන පොත් , සිතියම් පොත් , සිංහල දෙමළ  ඉංග්‍රීසි හෝඩිය තියෙන පොත් . . ඒ ගැන ලොකු විස්තරයක් ඉස්සරහ ඉදන්ම කළා . . කඩෙන් ගත්තොත් පොත රුපියල් 250 යි ලු ඒත් ඔහු විකුනන්නේ රුපියල් 150 ට ලු . . ඒ කොහොමද කියලනම් මටම හිතා ගන්න බෑ . . හොදයි කමක් නෑ කියමුකෝ . .

   ඊළගට ආවේ කාන්තාවක් . . පොඩි පිරිමි ළමයෙකුත් වඩාගෙන . . ඇයත් බස් එකට නගින්න හේතුව පැහැදිලිව කෙටියෙන් විස්තර කළා . . අතේ ඉන්න දරුවාගේ ඔලුවේ ගෙඩියක් ලු . . ඔපරේෂන් කරන්න සල්ලි ඕනි ලු . . ඊලගට ඒ විස්තරේම තියෙන කොලේකුත් බෙදාගෙන ගියා . . දොස්තර කෙනෙක්ගේ සීල් එකක් තිබුණා . . එකෙන් තේරුණ විදිහට මේ බදුල්ලේ කාන්තාවක් . . එච්චර දුර ඉදන් ආවේ ඇයි කියලත් හිතුණා . . අනේ මංදා . . මේ කාන්තාව හැම සතියකම මේ බස් එකට එනවා මතකයි . .

   ඊළගට ආව පුද්ගලයා මෙහෙම කිව්වා " සල්ලි බලාගෙනම නෙවෙයි ආවේ . . ගමන් මහන්සියට පොඩි ගීතයක් කියලා ඒ මහන්සිය ටිකක් හරි නැති කරන්න හිතාගෙන" ලු . . හැකිනම් "  සුළු උපකාරයක් කරන්න " ලු  . . .  මේත් හැම සතියකම මුණ ගැහෙන කෙනෙක් . . ඉතිං අතේ තිබ්බ රබානටත් තාලෙට තට්ටු කරන ගමන් " මේ නොනිමෙන දිවි ගමනේ " සිංදුව කිව්වා . . ඊළගට  " අද ටිකක් අසනීපයි . . ඒ නිසා හොදට සිංදු කියන්න අමාරුයි " කියල කිව්වා . . මේ විදිහටම ඊට කලින් සතියෙත් කිව්වා කියල මටනම් හොදට මතකයි . . එත් හොද ආචාරශීලි කෙනෙක් කියලනම් මට කතා කරන විදිහෙන් තේරුනේ ඊට කලින් සතියෙමයි  . . .

   තමන්ගේ ජිවිතේ බස් එකට එන මිනිස්සු මත තීරණය වන ජන කණ්ඩායමක් මේ . . අනිත්  අය රවට්ටන්නේ නැතුව , ඇත්ත කියල , හොද දෙයක් කරලා  ඒ දේත් කරනවානම් හොදයි කියල මට හිතුණා . . සමහර විට ජිවිතේ ගැටගහගන්න පුංචි බොරුවක් කියනවත් ඇති සමහර අය . . . ඒ අයගේ හැසිරීම් සමහර වෙලාවට හිතේ තර්ක ගොඩ නගනවා ඇත්තමද මේ . . නැත්නම් බොරුද කියල . . බොරු කියල හිතුනොත්නම් ඇත්තටම මට ටිකක් කේන්තියි . . ඒක කොයිතරම් සාධාරණද , අසාධාරණද මං දන්නෑ . .

   

4 comments:

  1. කතාව නම් ඇත්ත තමයි...
    ඒත් අපි කොහොමද මේ අය බොරු කරනවද නැද්ද කියල දැනගන්නේ....
    මේව මේ සමාජ ආර්ථිකය අනුව හදාගත්ත දේවල් නංගී..
    අපිට කවදවත් බෑ මේව වෙනස් කරන්න...
    ඔයා හරී මේව කොඉ තරම් දුරට සාධාරනද අසාදාරනද කියන එක අපි දන්නෙ නෑනේ
    හොඳම දේ නිශ්ශබ්දව ඉන්න එක තමයි...
    මොනව උනත් හොඳ කතාවක්..
    හිතන්න දේවල් ගොඩාක් තියනවා...

    ReplyDelete
    Replies
    1. දැනගන්නනම් මැෂින් එකක්වත් හදන්ට වෙයි . . නැත්නම් හෘද සාක්ෂියෙන් අහල බලන්න තමා වෙන්නේ . . ඇත්තටම නිශ්ශබ්දව ඉන්න එක හොදයි තමා අයියේ . . .
      හ්ම්ම් . . හිතන්න දේවල් එමටයි . . බස් එකේදිත් මං හිතුව ඒත් ඉතිං අපි මොනා කරන්නද ලබා උපන් හැටි නේ ඒ අයගේ . . ස්තුතියි අයියේ . . :) :)

      Delete
  2. ඔය කවිකාරයට නම් එක දවසක් ඒ - එම් - එන් එකේදි ගුටි පූජාවක් හම්බුනා ගෑනු කෙනෙක්ට හේත්තු වෙලා සිංදු කියන්න ගිහින්! එදා නං පස්ට!

    මෙහෙමයි! ඉස්සර හිඟන්නෝ නං ඇත්තම හිඟන්නෝ! ඒත් දැන් තියෙන්නෙ බිස්නස් එකක්! මං නං කවදාවත් හිඟන්නෙක්ට සල්ලි දෙන්නෙ නෑ! ඇත්තටම!

    ඊළගට! කස්ටිය දැකලා තියනවද අර නුවර බස් වලට නගින පිච්චුන පොර?? අත් දෙක විකෘති පොර? මං පොරව කොළඹදි දැකලා තියනවා ජැන්ඩි පහට ඇඳලා ඉන්නවා! දෙපාරක්ම! මං අතේ කැමරාවක් තිබ්බනං ඒ කාලේ ෂුවර් මං ඒක පොටෝ එකක් ගන්නවා!!

    “චුයින්ගම් එකක් , පෙපරමින්ට් එකක් , කූල් වතුර එකක්“ ඕක කියන කෙනාගෙන් නං මං වතුර බෝතල් අරන් තියනවා!! ඒක නම් ඇත්තටම වටින සේවයක්! මොකද අනික්වා කෙසේ වෙතත් වතුර ටිකක් ගන්න පුලුවන් නිසා!!

    මේවා ගැන කියනවනං අම්බානක කතා නංගෝ!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පිච්චුන කෙනත් ඉදල හිටලා නගිනවා . . මාත් දෙන්නේ මට අවංකවම පව් කියල හිතුනොත් විතරයි . . . ස්තුතියි අයියේ හුගක් කමෙන්ට් එකට . . . :)

      Delete